Tuesday, March 23, 2021

The little things (2021)

සමහර වෙලාවට අපි අතින් දැනුවත්ව හෝ නොදැනුවත්වම සිදුවෙන කුඩා කුඩා දේවල් වලින් අපිටත්, අපි අවට සිටින අයටත් කරන්න පුලුවන් බලපෑම සෑහෙන විශාලයි. කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කර දමන්නත් නැත්නම් කැඩී බිඳුණු ජීවිතයක් සුවපත් කරන්නත් මේ සමහර කුඩා දේවල් වලට තියන හැකියාව විස්මයජනකයි. මම හිතනව Little things චිත්‍රපටය පදනම් වෙන්නෙ මේ කාරණාව මත කියල. අබිරහස් මිනීමැරුම් ගණනාවක් සහ ඒවා සිදුකරන යම් නාඳුනන අපරාධකරුවෙක් සොයා යෑම වටා කතාව ගොඩ නැගුනත්, ඒ අබිරහස විසඳිමට වඩා චිත්‍රපටය ඇතුලෙ මතුකරන්නෙ ඒ පසුපස ලුහුබඳින රහස් පරික්ෂකවරු දෙපලකගේ ජීවිත අභ්‍යන්තරයන්. චිත්‍රපටයට ලැබෙන බොහොමයක් ඍණාත්මක ප්‍රතිචාරවලට හේතුවෙන්නෙ අබිරහස විසඳීමට වඩා වෙනත් මානයකට කතාවෙ අවසානය රැගෙන යාම නිසා බවයි මම හිතන්නෙ.

 කොහොම නමුත් මෑත කාලින සිනමාවේ ඉහළම ගණයේ රංගවේදීන් තිදෙනෙකුගේ (Denzel Washington, Rami Malek, Jerad Leto) සුසංයෝගය මේ චිත්‍රපටය සෑහෙන විශේෂ එකක් බවට පත්කර තිබෙනව. ඒ අතර Jerad Leto වඩාත් කැපී පෙනෙන බව කිවයුතුයි. භෞතික ස්වරූපයෙනුත්, හැඟීම් ප්‍රකාශනයෙන් සහ අනෙක් රංග වින්‍යාසයන්ගෙනුත් තමා නිරූපණය කරන චරිතය බවටම පත්වෙමින් රංගනයේ යෙදෙන ආකාරය ඔහුගෙන් දැකගත හැකියි. තමන්ව අමතක කර අදාල චරිතයට සමවැදෙන්න ඔහුගේ තිබෙන මේ චරිතාංග නළුවෙකුගේ ගුණාංගය මෙතැනදිත් Leto ඉතාම හොඳින් පවත්වා ගන්නව.

 සමස්තයක් විදිහට කුතුහලයට වඩා නාට්‍යානුසාරී බව මතු කරනකරන සහ තරමක් මන්දගාමි ස්වරූපයෙන් ගලා යන නමුත් අවසානයෙ හිතන්න යමක් ඉතිරිකර තබමින් අවසන්වන චිත්‍රපටයක් විදිහට නම් කල හැකියි.



No comments:

Post a Comment