සැර බෙහෙත් ගඳ මුසුව
හමන සුළඟ ද ලෙඩිනි
සුදු සීලිමේ විදුලි පංකාව
කෙඳිරිගා කැරකේය තනිවම...
පටු කොරිඩෝව කෙළවර
බොඳව යයි ගිලන් ඇඳක කිරිකිරිය
විදුලි පහනේ මළානික එළි බින්ද
දැවටේ අඳුර මත යන්තමින....
කොහේදෝ දුර ඈතක සිට
පාලුව කපාගෙන දස අත
කිරලෙකු හඬයි සෝබර හඬින්
රාත්‍රී කළුවර බිඳ.
සේලයින් බට රුහිරු වැල් අතර
පෙනෙන සහසක් ගිලනුන් මුහුණු මත
ජීවිතයෙ විඩාබර ලකුණු එකිනෙක
මතුවී පෙනේ වාට්ටුවේ තැන තැන.
මාත්‍රා මැන බලා නිසිලෙස
සම් මස ලේ ඇට නහර විනිවිද
රාත්‍රිය එන්නත් කටුවකින් ඇන
මුදා හරියි දොම්නස.
බිහිවු දා පටන් මෙලොවට
නිරන්තර ගමනේ ම යෙදෙන
දිග ඔරලෝසු කටු ලඟ
නිරතුරු නතර වේ ඇස.
අපූරුයි.
ReplyDeleteදැන් බොහෝදුරට රෝහල්වල ඉස්සර තිබ්බ සැර ගඳ නැහැ.
ජයවේවා!!!
අලුතෙන් හැදෙන වාට්ටු වල එහෙම ඇති......මට නම් ඉස්පිරිතාලෙ මතක් කල ගමන් දැනෙන්නෙ බේත් ගඳ තමා.... මතකය ගොඩක් සමීප වෙන්න ගඳ සුවඳ එක්ක කියල විද්‍යාෙවන් හොයාගෙන තියනව කියල මන් කොහේදෝ කියවා තියනව...
Deleteස්තූතියි දුමී!!!
ඔව් රන්දික. ඒක ඇත්ත. මාත් අහලා තියෙනවා.
Deleteජයවේවා!!!
මම නම් ප්‍රර්ථනා කරන්නේ මැරෙන්නවත් රෝහලකට යන්න සිද්ද කරන්න එපා කියලා. මට ඒ තරමට රෝහල එපා උනා.මම මාසයක්ම රෝහලක දුක් විදපු කෙනෙක්. මතක් වෙනකොටත් බයයි.
ReplyDeleteදන්නව ඇති එහෙනම් තත්වෙ කොහොමද කියල.....
Deleteමේ කවිය දුටු ගමන් මට මතක් උනා සේකරගේ "බෙන්!" කවිය. මං හිතන විදියට බෙන් කියලා සේකර හදුන්වන්න ඇත්තේ බෙන් සිරි මාන්නව! බෙන් සිරිමාන්න කිව්වේ "සිංහබාහු" එකේ සිංහයාට ඇට් කොරපු මහා ගාම්භීර වොයිස් එකකට උපතින්ම උරුමක කී අයෙක්. ඒ කාලේ ගුවන් විදුලියේ නාට්‍ය ගීතයක් ප්‍රචාරය උනා එතුමාගේ නමින්. මෙතුමා අස්නීප වෙලා රෝහල් ඇද මත සිටි මතකය තමයි සේකර කවියක් කලේ! (මතකෙන් ලියන්නේ. සදොස් තැන් නිදොස් කරණු මැන ගුන දොස් දත් මනැස්!) ඔය ඉස්පිරිතාල සුවද ෂර්ලොක් හෝම්ස් හදුන්වා දී තිබුනේ "අයිඩෆෝම්" සුවද කියාද කොහේද! මට නම් රෝහල කිව්ව ගමන් මතක්වෙන්නේ "ඉස්පිරිතාලේ" කියනව්සුන්දර වදන. අපරාදේ ඒක වෙනස් කලේ. සමහර පරණ බෝඩ් වල තාම තියෙනවා "ස්ප්‍රිතාලය" කියා. කාටද් ඊලගට වොලී බැස්ටියන්ව මතක් නොවෙන්නේ. ඔව් එයාගෙ අක්කා වෙනුවෙන් ලියවුනු "නෝනා.. මගෙ නර්ස්. ... නෝනා..//". ගීතය තමයි ඊළ්ගට වැලට එන්නේ. නර්ස් නෝනලාට සිංදු තිබුනත් ආසාවට දොස්තරලාට සිංදු නෑ නේද? ඇයි සනතුත් කිව්වා නේද නර්ස් නෝනලාට ලස්සනබ්සිංදුවක්. "සිනහ නගන්නී.. ලැසි ලැසි ගමනේ යන්නී.. //" කියලා. ඔව් දැං බලන කොට මේක හරි සුන්දර මාතෘකාවක්!
ReplyDeleteසේකරගෙ නොමියෙමි පොතේ මට මතක විදිහට මුල් කොටසෙ තියෙන්නෙ ඉස්පිරිතාලෙ මරණාසන්න රෝගියෙක් ගැන....සේකර ඒ අවස්ථාව විස්තර කරන්නෙ මායාමය ස්වරූපෙකින්. මේකටත් මුලින් නම දාල තිබ්බෙ ඉස්පිරිතාල සිතුවිලි කියල නම වෙනස් කලා පසසේ...ජීවිතේ ස්වභාවය තේරුම් ගන්න හොදම තැනක් තමා ඉස්පිරිතාලෙ දවස් කීපයක් නැවතී ඉන්න එක නොයෙක් ලෙඩ රෝග වලින් මිනිස්සු දුක් විදින හැටි ඇස් දෙකටම දැකගන්න පුලුවන් කොහොමත් ඒක සුන්දර අත්දැකීමක් නෙමේ විශේෂයෙන් ලංකාවේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක නැවතිල ඉන්න එක.....විස්තරයට ස්තූතියි නොදන්න කරැණු කීපයක්ම දැනගන්න පුලුවන් වුණා......
Delete