Wednesday, May 9, 2018

The Usual Suspects (1995)


කූඹියෝ ටෙලි නාට්‍ය විකාශනය වෙලා ඒ ගැන ඇති වෙච්ච කසුකුසුවත් මැකී ගිහින්
ඉවරයි. මොනව වුණත් ඒ සමගාමීව සමාජ ජාල අඩවි වල බ්ලොග් වල බොහෝ
තැන් කූඹි කාල තිබ්බ. විශේෂයෙන් ම කූඹියෝ අවසාන කොටස. මෙතනදි සිදුවෙච්ච
වැදගත් දෙයක් තමා අපේ සමාජෙට නුහුරු, criminal mastermind නැත්තම් con artist
වගේ යෙදුම් සහ එවැනි පුද්ගලයන් ගැන කතාබහක් ඇතිවෙච්ච එක. ඒ අතරෙ මතුවෙච්ච
තවත් කතාබහක් තමා කූඹියෝට සමාන (කඩියෝ, දිමියෝ...) කතා තේමාවන් ඇති
Criminal mastermind චරිත ගැන කියවෙන , අනපේක්ෂිත අවසානයක් ඇතිකරන
Plot twit වන නිර්මාණ මොනවද කියන එක. ඒ අතරෙ Fight Club , The Body,
American Hustle වගේ නම් කියවුණා . Usual Suspects කියන්නෙත් ඒ වගේ
crime/ thriller ගණයට වැටෙන, සමාන්‍යෙයන් එදා මෙදා තුර හොදම Plot twit
අතරින් එකක් විදිහට සලකන විශිෂ්ඨ සිනමා නිර්මාණයක්.

 කතාවෙ අවසාන භාගයට සම්බන්ධ වෙන දර්ශන කීපයක් එක්ක තමා මේ චිත්‍රපටය
ආරම්භවෙන්නෙ. ඉන්පස්සෙ එක පුද්ගලයෙකුගෙ මතක සටහනක් විදිහටයි කතාව
ගලාගෙන යන්නෙ. විවිධාකාර අක්‍රමිකතාවන් නිසා සේවයෙන් නෙරපපු පොලිස් නිළධාරීන්
පස් දෙනෙක් එකම චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගැනෙනවා. චිත්‍රපටය ඇතුල අපට
ඉගි ලැබෙන්නෙ මේ අය ඔය අපරාධය නොකළ බවයි. චෝදනාවෙන් නිදහස් වෙලා
එන්න මේ අයට අවස්ථාව ලැබෙනව. ඒත් එළියට ඇවිත් එකතුවෙලා වැඩ කීපයක් කරන්න
ඇතුළෙදිම මේ අය එකගතාවකට ඇවිත්. මෙහෙම සැලසුම් සහගත අපරාධ කීපයකට සහ
එක බිහිසුණු අණාවරණයකට පස්සෙ මේ අය දැනගන්නව මේ සිද්ධී හැම එකකම
පිටිපස්සෙන් අපරාධ ලෝකයේ Legend එකක් බඳු එක්තරා චරිතයක් ඉන්නා බව. ඒ තමා
Kayzer Soze.  Kayzer කියන්නෙ ඕනම දරුණු ගණයේ අපරාධකායෙක් වුණත් ඇහුව
සැණින් වෙව්ලායන නමක්. Kayzer වටා බොහොමයක් කතන්දර ගෙතිලා තිබුණට
මේ Kayzer කියන්නෙ කව්ද කියල දැකපු කෙනෙක් නෑ. දැකපු කෙනෙක් හිටියත්
Kayzer ගෙ මූණ කොයි වගේද කියල කිසි කෙනෙක් දන්නෙ නෑ මොකද Kayzer
කියන්නෙ මොන අපරාධය කළත් හැමවිටම තිරය පිටුපස්සෙ හැංගුණ චරිතයක්. මුළින්
කිව්ව නිළධාරීන් පස්දෙනා මේ Kayzer ගේ වැඩ කීපයකට අනි‍යමින් අකුල්හෙළා ඇතිබව
 එළිවෙනව. ඒ අයට ගැළවෙන්න ලැබෙන්න එක අවස්ථාවයි. එක්තරා රාත්‍රියක
Kayzer ගේ අපරාධ ආධිපත්‍යයට බාධා වෙන විදිහේ විශාල ගණුදෙනුවක් සිදුවෙන්න
නියමිතවෙලා තියනව. මොන ක්‍රමයෙන් හරි එය වැළැක්වියයුතුයි. පස්දෙනාට ලැබෙන
රාජකාරිය තමා මේ ගණුදෙනුව සිදුවීම වළක්වන එක. ඉතාම සැළසුම් සහගතව මේ
පස්දෙනා තමන්ට පැවරුණු වැඩේ අකුරටම ඉෂ්ට කරමින් ඉන්නව. නමුත් නොහිතූ විදිහට
හදිස්සියේ සිදුවන අනතුරකින් හැම දෙයක්ම විනාශ වෙලා යනව. සිද්දිය පිටිපස්සෙ
පන්නන පොලීසිය අවසානෙ Kayzer කවුද කියල හොයාගන්නව. අවසාන විනාඩි කීපයේ
චිත්‍රපටයේ climax එකට එන්නෙ මුළු කතාවම උඩු යටිකුරු කරමින්. මෙච්චර වෙලා තමන්
මොනාද බැලුවෙ කියන තිගැස්ම ප්‍රේක්ෂකයා ඇතුලෙ ඇතිකරමින්.

Usual Suspects චිත්‍රපටය ඇතුළෙ ඇත්තටම මොකක්ද වෙන්නෙ කියන එක
විවාදාත්මකයි. ඒ ගැන විවිධාකාර මත පළවෙලා තියනව. නමුත් ඒ ගැන මෙතන
නොකියන්නේ චිත්‍රපටය නොබලපු කෙනෙකුට අවසානය වනකල් ම ඒ කුතුහලය තබාගැනීම
අවශ්‍ය නිසා. චිත්‍රපටය බලන කෙනෙකුට තමන් දකින දේ අනුව කතාව ගොඩනගා ගන්න
පුලුවන් විදිහට ඉඩක් ඉතුරු කරලයි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ. මුල මැද
අග කතාවක් කියනවට වඩා ඒක මෙහෙම වෙන්න බැරිද කියල තමන්ගෙ ඔලුව ඇතුලෙම
තර්ක කරන්න තමන් ඇතුලෙම නැවත නැවත හිතන්න ප්‍රේක්ෂකයාව සක්‍රීයව දායක කරගැනීම
අතින්ම මේක ඉතා විශිෂ්ට සිනමා නිර්මාණයක් බවට හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම
දෙබස්, රූපරාමු, සංගීතය මේ හැම ඉහළ මට්ටමේ තියන බව කියන්න ඕන. Usual suspects
කියන්නෙ බොහොමයක් සිනමා රසිකයනට මගඇරෙන නිර්මාණයක් නෙමේ. Crime / Thriller
ප්‍රිය කරන, මේක තව නොබැලූ කෙනෙක් ඉන්නවනම් වහාම බලන එක සුදුසුයි කියල
කියන්න කැමතියි.





1 comment:

  1. අනේ මන්ද මම මේ රුපවාහිනී, චිත්‍රපටි බලන්න අකමැති එකනේ වැඩේ. ඉතින් බලන්නේ කොහොමද? මම ඉතින් කැමතිම පොත් කියවන්නනේ.

    ReplyDelete