Wednesday, December 27, 2017

ඔහු සහ ඇය.....


පුරුදු ලෙස මුණගැසෙනු පිණිස
යොදාගත් නියමිත මොහොතට
හෝරාවක් දෙකක් පමාවී එමි...

උපන්දිනයට සැමරුමකට
සුබ පැතුම් නොයවමි
හිතාමතා මඟහරිමි....

ඇමතුම් කෙටි පණිවිඩ
නොදැක්කා සේ ඉඳිමි
පසුව පිළිතුරු යවමි.....

එහෙත් මුහුණේ සුපුරුදු 
කරුණාබර සිනහව
නොමැකෙයි ඔහුගෙ කිසිවිට. .

උරණ වන්නට බැරි ඇයි ඔහුට
රළු පරළු වදනින් බැණ වැද
කෝපගන්නට නොහැකිද ඔහු හට?

ඉඳහිට දවසක
හමුවන්න නොහැකියැයි
බොරු හේතු කියමි
ඔහුගේ කුඩා වරදටත්
මා දැඩිව කිපෙමි...

එහෙත් ඇයි ...
නැද්ද ඔහුට මිතුරියක්
පෙමින් බැඳෙන්නට හැකි...
සොයාගත නොහැකිද ඔහුට
අන් ළඳක්?
දුබලද ඔහු එතරම්?




Thursday, December 21, 2017

නගරයට රෑ වී....


අහස් ගෙයි අවරග දොරටු හැර
බිම වැටෙයි කළුවර නගරේ වීදි වල
නිවෙමින් දැල්වෙන නියොන් එළියක් ලඟ
සොයයි රෑ සලබයෙක් නිවැරදි මඟ තොට

අඩ අඳුර පිරුණු අවන්හලක ඇතුලත
දුක් දැවී නැගෙන දුම් මතුව එයි තැන තැන
බඳුන් පුරවා පිරෙන බීර අහුරක පෙන බුබුළක
කඳුළු බිඳු  දිලිසෙයි රත්තරන් පාටට

දාවලේ තරඟයට හමාගිය සුළඟද
හති අරියි පාරබඩ මී ගහක හෙවණ යට
තවත් දුර යාමට ඇති බැවින් අරුණට පෙර
දුරගමන් බසයක් හඬයි රැහැයියෙක් වෙනුවට 

කළුවන් සෙවණැලි සේ මා වවුල් පිරිවර
වැළඳගෙන විදුලි රැහැන් මත හාදු විසුරුවන
උදෑසන ලිහෙන ඝන මීදුම් සළුපිලි අතර
හමුවන්නෙ අන්න ඒ වවුලෙකුගෙ මළකඳ




Tuesday, December 19, 2017

මේරි අම්මාගෙ නත්තල..


ඇණ ගැසූ දා පටන් පුත්‍රයා
පල්ලි යන්නී ඈ හැමදාම
කුරුස සුරුවම පාමුල
නතර වන්නී මඳක් නිහඬව...

පැටි වියේ බොළඳ බස
මතකයට නැගෙනවා
හමන සුළඟේ පවා
කිරි සුවඳ දැනෙනවා
රුදුරු හෙළි තුඩක් විත්
ළය මැද්දෙ ඇනෙනවා
කඳුළු ඇස් බොඳ කරන්
තවම මඟ බලනවා... 

පල්ලියේ වැලි පාරෙ
දෙපා යුග ගෙවෙනවා
කස පහර වැදුණ පිට
සිහිනෙනුත් දකිනවා
ගොල්ගොතාවට යලිත්
දිව යන්න හිතෙනවා
ලොවට රහසේ නිතර
ඈ කඳුළු පිසිනවා... 

එදා වාගෙම අදත්
රෑ දවල් ගෙවෙනවා
පුරුදු විදිහට ඔහේ
ජීවිතේ ඇදෙනවා
කොතන හරි හිස්බවක්
තිබෙන වග දැනෙනවා
පුතා සිහිකර යලිත්
දෙවියන්ට යදිනවා

නිහඬ කන්නලව්වක
දුක් කඳුල නිමාකර
අඳුරු වුණු පැල්පතට
උදා කර රිදී ඉර
විවර කරගෙන යලිත් 
වඩු මඩුවෙ ලෑලි දොර
අනේ මේ නත්තලටවත්
පුතා ඒවිද ගෙදර..




Monday, December 18, 2017

මේක කතන්දර ලෝකයක්!

කතන්දර, කතන්දර...ඒව තියනව හැමතැනම.. පාරෙ යනකොට..බිම වැටිලා..විවිධාකාර ස්වරූප වලින් ඒව තියනව...මං පුංචි කාලෙ බත් කන්න හරි හොරයි..අම්ම බත් ගුලි හදල කවන්න හදනව ඒත් මං කට අරින්නෙ බොහොම පොඩ්ඩයි..ඉතිං අම්ම මට කතන්දරයක් කියනව...බත්ගුලි කර කර බොහොම රහට අම්ම ඒක කියනව...ඉතින් ඒ කතන්දරේ අහන් ඉන්න මගෙ කට ඇරෙනව..ඒ අතරෙ අම්ම මට බත් කවනව....ඉස්කෝලෙ යද්දත් ඉගෙන ගත්ත කප්පරකට කතන්දර...අපි ඒව ප්‍රශ්ණ පත්තර වල ලිව්ව..ඒවට ලකුණුත් හම්බවුණා...ඉතිහාස පොත් පෙරලල අපි කියෙව්ව..ඒවත් වැඩි හරියක් කතන්දර ...ඊට පස්සෙ ආගම...ඒකත් නරකම නෑ.....ඒත් ඒ හැම දෙයක්ම කතන්දර...කෝච්චික් එනකම් ස්ටේෂන් එකේ බලා ඉද්දි නැත්තම් බස් එකක යද්දි..නැත්තම් පාරක තොටක ඕනම තැනක..ආදරේ කරන අය කතා වෙන හැටි මට ඇහිල තියනව අනුන් ගෙ කතා අහන් ඉන්න එක නම් ඒතරම් හොඳ වැඩක් නෙමේ තමා..ඒත් ඒ වගෙ අපූරු කතන්දර අහන්න පුරුදු කරපු කණකට ඒව ඇහෙද්දි වලක්වාගන්නෙ කොහොමද කියන්න..?
මේ ලෝකෙ කතන්දර වලින් වැහිල...කතන්දර කඳු කඳු වගේ තැන් තැන් වල ගොඩ ගැහිලා..මාත් හිටියෙ ඒ වගේ කන්දක් මුදුනක...ඒත් හිටි ගමන් කතන්දර කන්ද හෙල්ලිලා ගිහින් නාය යන්න පටන්ගත්ත..මාව කතන්දර ගොඩක රූටල රූටල පහලට වැටුණ..ටිකෙන් ටික කතන්දර ගොඩේ එරිල මාව ගිලෙන්න පටන්ගත්ත...මං බෙල්ල ලඟටම එරිල ඉද්දි කතන්දරයක් අල්ලගන්න මට පුලුවන් වුණා...මේක කැඩෙන්න බිඳෙන්න තියන ඉඩකඩ අඩුයි ...ඒත් කවදාවත් ම එහෙම නොවෙයි කියන්න බෑ නෙ...(මොකද කවදාවත් වෙන්න බැරි දේවල් කොහෙවත් නෑ කියන එක මං මුලදිම ඉගන ගත්ත දෙයක්.) ඉතින් එක කතන්දරේක එල්ලිලා බොහොම අමාරුවෙන් පණ බේරාගෙන ඉද්දි කවුරුහරි ඇවිත් තව කතන්දරයක් කියල මාව මෙතැනින් ගොඩට ගනීවි කියල බලාපොරොත්තු සහගතව මම මෙතැන කතන්දර කන්දක් පාමුල තවමත් බලාගෙන ඉන්නවා...






Friday, December 15, 2017

කැළෑ මල්


අමාවක දවසට
සිනාසී අහසට
පීදුනත් සිහින් තරු එළි...

පුරාහඳ ආවම
අමතකයි අහසට
තරු එළි මැව්ව හසරැළි...

කලා රස හඳුනන
දෑස් යුගලකට
නොපෙනී යන්තමින් හරි..

ඒ තරම් හැඩ රුවට
ඈත වන උයන්වල
පිපී පරවෙන්නේ ඇයි
කැළෑ මල් මේ හැටි?





Thursday, December 14, 2017

ඔබ..මම


ඔබ
සත්මහල් මන්දිරේ
ඉහළම සඳළුතලයක
බෝගන්විලා පැලයක් දෙස බලනාතර..

මම
පාත තණබිස්සේ
කටු පොකුරු අතරේ
පිපුන නිදිකුම්බ මලක හැඩ බලමි..

ඔබ
ගලායන දොළපාර
ඉවුරක හැපී රැළි නඟනයුරු දැක
පොඩි එකෙකු සේ සිනාසලනාතර

මම
දුර ඈත කන්දක 
මීදුමෙන්  වැසීයන මුදුනත 
දෙස බලා භාවනාවක සමවැදෙමි...

ඔබ
අවුල්වූ කෙස් රොදක් දැක
මැසිවිලි නගමින් ඉන්නාතර...

මම
අවි හරඹ දක්වා
රුදු සටන් මෙහෙයවා
රාජ්‍ය පෙරළාදමා
සිතින් කැරළිකරුවෙක් වෙමි...

ඔබ
කෙස් රැවුල් ඝණව වැඩුණ
ගොරතර විටෙක කරුණාබර
හැඩි දැඩි කළු වැද්දෙකුට
සිතින් පෙම් බඳිනාතර...

මම
කෙට්ටු කෙසඟ අත පය ද
නෙරාඑන උදරයද දෙස
කුසීතව බලා ඉමි...

ඔබ
මොසාට් ගේ 
ඉසියුම් වයලීන සරයේ
අතරමං වී සිටිනාතර

මම
උච්ච ස්වර රොක් ගීයක
ලීඩ් ගිටාරේ නාදයට
දෙසවනේ පිරීයන්නට ඉඩ දෙමි...

දවස අවසන
ඔබ අඩක් නිමකල සිතුවමක
ඉතිරි අඩ මා කුඩාවට ඇඳ
එයට "අපි" යැයි නම් තබමි...




Wednesday, December 13, 2017

සීමාව


වැවට විතරක් නෙවෙයි
පුංචි පොකුණටත් තියනවා
තමන්ගෙම කියල සීමාවක්... 

අනෝරා වැහි වැටෙනකොට
උහුලාගන්න බැරිව උතුරන 
දිය පිට දාන පිටවානක්... 

ඕලු නෙළුම් සියක් දාහක්
එක යායට පුබුදුවා ගන්න
හිතේ හැංගුණ ආසාවක්...

පන් කුකුළන් තඹ සේරුන්
පතුල පිරිමදින දියකාවන්
හිතූ හැටියට පිහිනන
දිය පිරුණු සිහිනයක සේයාවක්... 

එක බිසෝකොටුවක් නැතුව හරි
යන්තමින් කැළඹෙන වතුරක
මතක හංගාගත්ත දිය පතුලක්

වැවට විතරක් නෙවෙයි
පුංචි පොකුණටත් තියනවා
තමන්ගෙම කියල සීමාවක්...




Monday, December 11, 2017

සයුර


සයුර නුඹ අරුමයකි මට
රළ නගන වෙරළ ද
අසීමිත ගැඹුර ද
පවතිනා හැටි
එකම වතුරක..



Thursday, December 7, 2017

නමක් නැති ගසක්


නමක් නැති ගසකි
මහපාර අද්දර
එකින් එක පත් හලනා..

දසත විහිදුන
තුරු වියන යට
සිහිල් සෙවණක් දැනෙනා...

කලට නොකලට
වැහි සුළං සැඩ
අසල නිසලව හිඳිනා..

මා කුඩා ගස
කියාදෙනු මැන
මටත් ඒ මඟ නිවෙනා..





Tuesday, December 5, 2017

අරුමැසි කවි සමය....


මේ ගෙවෙන්නේ
බොහෝ හුරුපුරුදු මං පෙත්
නුහුරු ලෙස පෙනෙන සමයයි

හිතුමතේ අහසට වන්
හිතුවක්කාර වළාකුළු 
නොකල් වැසි වස්වන සමයයි

අහස වසිනායුරු දැක
හදවතේ අකුණු පුපුරන 
ඒ අකුණු සමයයි

නාඳුනන ඇස් දහසක් මැද
හඳුනන නාඳුනන ඇස් මඟහැරෙන
නාඳුනන සමයයි...

නොවරදින දුම්රිය 
බස්රථ 
හිතාමතම වරදින සමයයි..

මේ ගෙවෙන්නේ
හිස් කඩදාසි පිටු පුරා
වකාරෙට කවි ලියවෙනා
ඒ අරුම සමයයි...




Monday, December 4, 2017

හිස්


අහස හිස් වෙච්ච දවසක
පත් සිඳුන හිස් හිසැති තුරක් යට
හිස්කම ගැන කවි දාහක් කියා දෙන්නට
හිස් අතින් හමුවෙමු ද....

කිසිවක්ම නොපවතින 
කිසිවකුත් නොමැති
හිස් ම හිස් තැනකින්
කවි උපදින්නෙ කොහොමද...

කිසිවක්ම නොමැති තැනකින්
වැසි වස්වන්න පුලුවන්ද
ඇහුවොතින් අහසටත්
තියේවිද උත්තර...

ඉර හඳ වුණත් පොළවට
නොපෙන්න වසාලිය නොහැකි බව
නිහඬවම කියා ඇත අහස 
හැම කුරුල්ලෙක්ටම ...

ඇස් උණත් කාලෙකින් මුණගැහුණාම
හිස් තැනකට ඉඩක් කොහෙවත් තියනවාද
ඔබ නොඇසිය යුතුම පැනයයි එය....

වැසි වස්සනා වළාකුළකට
වැහිබරින් මිදී නිදහස්වනවා ඇරෙන්නට
ඉතිරිකර යන්නට යමක් නොමැති බව
වටහාගත හැකි වේවි
හිස් අතින් ආවොත් ඔබ...




Wednesday, November 29, 2017

කොවුලෙක් සහ රැයක්


නිදිනොමැති රැයක් නම්
උරුම විය යුතුයි කොවුලෙකුට.....

තත් බිඳුනු ගිටාරයක් තමයි ආකාස ගංගාව
තරුවකින් සුසර කර ගත හැකියි
ආතමයේ ගීතිකාව...
මාස්ටර්ගේ ගීතයක
දියවී යනකොට සාංකාව
සඳ වුණත් හොරෙන් හොරෙන් බලන්නේ නැහැ
ඇස් වසාගෙන ඉන්නවා මිස
වළාකුළු වැටගාව...

කුමුදු පෙති සඳ මීවිත උරා බොනවා
කණමැදිරිනුත් දුමක් අදිනවා හීනියට
උන්ගෙ එළි ඇවිලෙන්නෙ එතකොටයි
දහවලේ නිදියන ස්වර බොහොමයක් අවදිවෙනවා
රාත්‍රිය සාදයක් ඇත්තට...

තමතමන් ගේ ජීවිත කතන්දර 
අඳුරට කෑගසා කියන එක ගැන
දොස් පවරමුද රැහැයියන්ට
ඒත් අඳුර අඳුරම මිස
පළාතක නෑ කවුරුත් පෙනෙන්නට
රැහැයියනුත් වැරදිද එක අතකට...

ගී ගයන කොවුලෙක්ට නම්
හිතන්න ගොඩක් දේ තියනවා අන්න එතැන...




Monday, November 27, 2017

හෝම්ස්මය දෑසක්


මුදු මොලොක් උරහිස මත
නාඳුනන කෙටි කෙස්ගසක්.....
රෝසපැහැ ගවොමේ කුඩා මල් පෙත්තක 
ඉහිරුණු කෝපි බින්දුවක්...
ලා රක්ත දෙතොලේ යන්තමින් තැවරුණ
මිලින වී ගිය සිනහවක්...
තරු එළිය සැගවුණු මීන දෑසක
නුහුරු බැල්මක්.....

හදුනගමි සළකුණු
නො අසමි ඔබෙන්...
කවුරුන්ද ඔබ මට?
යාළුවෙක්....
යාළුවෙක්?

හඳුනමි එහෙත් නොකියමි
නොදැක්කා සේ ඉඳිමි
ඒතරම් කුඩා දේ පෙනෙනා
හෝම්ස්මය දෑස් යුගලක
උරුමකරුවෙකු වීම පිළිබඳ 
මටම දොස් පවරගමි..


Image - Sherlock 


Friday, November 24, 2017

මට නොතේරෙන කවි කම්....


විදාහල දිග මුහුලස
හිතූ අත පාවෙන ලෙස
වදනකින් දියබිඳු ඉස
නිවාලන්නෙද සරතැස

ගිණියම් වචන උනනා
පන්හිඳෙන් කඳුලු හැලුණා
හිම සිහිලසින් මිදෙනා
හැඩ අකුරටත් රිදුණා

තත් එකින් එක බිඳගෙන
නැගන වීණා නද මෙන
දුක්බරම තනු මූමුණන
කවියකි හිතේ පැටලුණ

රිදුම් දෙන අත් මුදා ගෙන
කමලාසනෙන් බැස එන
එරිදුම් කව ට පබඳන
සරසවියටත් වෙහෙසය

බැරෑරුම් අකුරු සළුපිලි
නොපෑහෙන වචන පැටලිලි
නොතේරෙයි මට නුඹෙ කවි
නොතේරෙන එකත් කවියකි..





Wednesday, November 22, 2017

මල් පිපී අැත


නාලිනී...
ඇවිදින් ගියා වුණත් වසන්තය 
මල් පිපෙනවා තවමත් මෙතන ...

මොන ඉඩෝරෙකට වත්
නොහිඳෙන්න
පරිස්සම් කරගත්ත වතුර පොද
දිය පිරුණු උල්පතක් වී
නිවනවා පිපාසය..

බෙදා ගත් සුසුමකින්
හදවතේ ලිහුණු කවි පේලි
තැනින් තැන ඔහේ විසිකළ බව
පමණි මතකය..

"එන්න 
මල් පිපී තිබේදැයි 
බලන්න"
ලියා එවූ ලියමන
මුසුවීගියාද 
සුළඟට ..

නාලිනී 
අද හෙටම එන බවට
පණිවිඩයක් නාවට
නොයෙක  හැඩරුව
මල් පිපෙනවා 
තාමත් මෙතන..




Monday, November 20, 2017

වැස්ස


දහසක් වැහිබිදු ඒවා
නැහැව්වත් මුළු දෙරණ
පුංචි හබරලා පතකටත්
බින්දුවක්  දෙකක්
ඉතිරිකර තබනවාමයි
මහ වැස්ස..



පොරි අහුර


ඈ අතින් අතහැරී
විල් තලය වැළඳගත්
පොරි අහුර
හද දියත කළඹවා
නිහඬ විල සසළකර
රැලිලමින් නිසල වේ
වරින් වර.




Friday, November 17, 2017

අඩ හඳක් තනි තරුවක්......


වළාකුළු ෆර්දාවට
වැසීයනකොට සඳ මූණ
පෙරී එන පුංචි කිරණක්
හොඳටෝම ඇති
දිය හිඳෙන විලකට...

අඳුරු අහුමුලු හොයන
නිල්පාට පුංචි තරුකැට
කොහොම නම් මඟ කියන්නද
ආලෝකවර්ෂ ගාණක්
ඈත මිනිසෙකුට.. 

ලා රක්ත දළු පෙන්නන
හීන්දෑරි හෙනා වැලකට
සුදු පාට මල් පුබුදුවන්නට
මොකටද අවසර...

ගිනියම් කොළඹ නගරේ
ගිනි දහවලේ
පායා එන අඩ හඳකට
තනි තරුවක් ඉතිං
දුරයි ද කොච්චර..







Wednesday, November 15, 2017

ඉන් පසුව....


ඉන් පසුව
පුරුදු ලෙසටම
බොහෝ සෘතු ගතවනු ඇත.. 

නුග ගස්ද කොළ හලා
යලිත් දලු දමනු ඇත. 

අතු ඉති වසා දම් පාට
රොබරෝසි ආයෙමත්
පිපෙනු ඇත... 

පුරුදු ලෙසටම
රල නඟන මේ සයුර
වෙරළ මත රහස් මුමුණනු ඇත

කොයියම්ම හෝ දවසක
ඔබ මෙතන වුන් බව කියවෙන
අඩි සළකුණක් දෙකක් ගැන ගැන
මම මෙතැන... 
මෙතැනමම හිඳිනු ඇත.... 






Sunday, November 12, 2017

වෙරෝනිකා


මෙහෙම පිස්සු හැදෙනවට
මම කැමතියි වෙරෝනිකා...

එතකොට ඔයාට පුළුවන් 
හඳ පායපු මහ රැයක
එළිවෙනකන්ම
පියානෝව වාදනය කරන්න..

මටත් පුලුවන්
මගෙන් මඟ ඇරුණ පින්සල
ආයෙමත් අතට අරගෙන
ඔයාව සිත්තමට නඟන්න..

අපිට පුලුවන්
මොකවත් නොදන්න
පොඩි උන් දෙන්නෙක් වගේ 
මහ හයියෙන් හිනාවෙවී
යුබ්යානාවෙ වීදි දිගේ
ඔහේ ඇවිදගෙන යන්න...

මේ හැම දේකින්ම 
හැම දේකින්ම මිදිලා
අර කන්ද මුදුනට වෙලා
ඉරපායන දිහා බලන්
තව වයින් බෝතල් දෙකතුනක් 
හිස්කරන්න..

හැම ඉර උදාවක් එක්කම
ජීවිතේ තවත් දවසක් ගැන
අලුතෙන් දකින්න හීනයක්
ඉතුරුකර ගන්න..

මම දන්නව වෙරෝනිකා
අපිට පුලුවන් එහෙම ඉන්න..
ඔයාට ආයෙමත්
හිතෙන එකක් නෑ මැරෙන්න....
මීට 
එදුවා...

වෙරෝනිකා මැරෙන්න තීරණේකරයි නවකතාව අැසුරෙන්








Wednesday, November 8, 2017

දූවිලි


උදා හිරුරැස් සමග
පායනා කාලයේ
නිදහසේ සැරිසැරුව
දුහුවිල්ල
වස්සාන සමයෙදි
අහස් ගඟුලෙන් වට
වැහි බින්දු
වැළඳගෙන..





Sunday, November 5, 2017

නියමකරගත් අහඹුවක්....

මෙතෙක් අප ආ මාවතේ
ඉදිරි මීටර සියය තුළ
හමුවන වැළමිට වංගුවෙන්
හැරී වෙන්වීමට නියමිතය නුඹ.

ඉන්පසුව මට උරුම
නගරබද මාවතේ
ඇවිදයාමට සිදුවනු ඇත මට.

නොයෙක ගම් දනව්
වන උයන් කෙත් වතු
ගංගා ඇළ දොළ 
පසුකරනු ඇත මම.

ඉක්බිති
බොහෝ දුර ඇවිද
විඩාවෙන් විඩාපත් වූ මොහොතක
එක්තරා නම නොදන්නා වීදියක
නැතිනම් අවන්හලක දුම්රියපළක
මහා සෙනඟක් මධ්‍යයේ 
අහම්බෙන් හමුවීමට නියමිතය
යළි වරක්
අප දෙදෙන





Thursday, November 2, 2017

දිය මත රුව


මගියෙක් ය
මෙගොඩින් දියට වන්
ඔරුව පිට.  

දකියි ඔහු
ගඟ දියේ
හබල් පහරට
කැබලි කැබලිව
බිඳී විසිරෙන
තමන් රුව

සිහින් සිනහවක්
මතුව ඒ
මුව අග.





Wednesday, November 1, 2017

කතරක වෙහෙස....

වෙරළකට නම් බොහෝ අය
ඇවිත් යන එක ඇත්තය
ඒත් ඒ මුහුද හින්දය... 

සිනිඳු පා පහසකට
කතරක් වුණත් කැමතිය
කවුරුත් කලේ කවදත්
එතන මඟඇරපු එකමය.... 

පරිස්සම් කරගත්
අර ක්ෂේම භූමියකට
කුරුල්ලෙක් වත් නොඑන එක දුකය.... 

රාත්‍රිය නම් මෙතන
සිහිලැල්ය
දවාලේ මිරිඟුවෙන්
නොකැලැල්ය.. 

මද්දහන ගිණියමෙන්
ගිණියම් ය... 

විස වුණත් කටුක කටු
හිතහැදෙන 
මලක් හරි පූදින්න
ලඟ උන්නෙ අර
පතොක් සොහොයුරන් විතරය... 

මිනිස් පුළුටක් නොඑන
ක්ෂේම භූමියක
දිය කඩිති 
පොඩි පඳුරු කීපයක්
ඇහැක් වාගේ බලාගෙන
ගිනිගහන දවාලේ
ගිනි අව්ව 
තනියම විඳදරාගෙන
කතරක් වෙන එක
ඇත්තටම වෙහෙසය....





Tuesday, October 31, 2017

වැටුණ තුරුපත්


කවුරුන් හෝ කවදාක හෝ
ඇවිත් අමදින තුරුම
හැලුනු තැන් වල නතර වෙයි
වැටුණ තුරුපත්

උයන් පල්ලෙකු ගෙ සුරු දෑතට
අත් දඬු කැපීයන බව දැන දැනම
ඊතණ පඳුරු පැලවේ
මල් උයනෙත්

දුක් දරා බිහි කරගත්ත මුතු ඇට
දන් දෙන්න වෙන බව වෙනකෙනෙකුට
කවදාකවත් දැන උන්නද
මුතු බෙල්ලෙක්..