Friday, August 4, 2017

නීරෝ සහ වීණාව

අධිරාජයෙනි 
බලනු මැන 

කවුලුවෙන් එපිට ලෝකය
ගිනිගෙන දැවීයයි
මුලු රෝම නගරය...

ඉතින් කිම
නොවෙති උන් ඔබ නෑසියෝ
මිතූරෝද අසල්වාසියෝ..
මන්දිර ප්රාකාරයෙන් මෙපිටය
ඒ සියල්ලෝ..
රස බොජුන් මධු සාද
අඩු නැතුව විඳින්නෝ..
වෙති ඔබේ නෑසියෝ..

නගරයේ පටුවීදිවල
බඩසයින් පෙලෙන්නෝ..
ජීවිතේ කටුක දුක
දිනපතා විඳින්නෝ..
තැලුනු හදවත් පතුල
ගින්දරෙන් දැවෙන්නෝ..
පියසි මත ඒ ගින්න
ඇවිලෙමින් නැසෙන්නෝ..

රජතුමනි..
මියුරු සත්සර නගන
වීණාව ඔබ අතය
සියුම් සත්සර බිඳී
නැගෙන නද කන්කලුය
මනකල්ය..
සවන්පත මී අමා
බිඳෙන් බිඳ විසුලාය..

නගරයේ ගිනි දැල්ල
ඇවිලේය ඇවිලේය
ඒ අතර
තවත් වෙණ තාලයක්
නිමවන්න හැකිවේය..
මුළු නුවර ගිනිදැල්ල වසාගෙන
අළුවන්න පෙරාතුව.. 








No comments:

Post a Comment