මේ තරම්ම හැඩහුරුවට
ස්ත්‍රී රූපෙක ලස්සන
අඳින්න හුරුවුණේ කොහොම
අහන්නෙපා රජතුමනී...
ඔබතුමාම කිව් විදිහට
ජනපද කළණියකගෙ රුව
නොබලා මේ සිතුවම් ටික
ඇන්දේ මම මතකෙන්..
දිවුල් ලාටු රතු පස් මැටි
එක්කල මදුරුවො තල තල
වෙහෙස නැතුව වැඩකරද්දි
බොරු කියන්නෙ මොකටද මං
මතක් වුණේ නිතරම මට
ගෙදර ඉන්න මගෙ රංකඳ
කැටපත් පවුරෙම පැත්තක
නින්දක් නැති රෑ තුන්යම
ඒ පපුවේ මල් සුවඳක්
හීනෙන් වගෙ මට දැනෙනව..
අත ඇරලා මේ ඔක්කොම
පැනලා මේ ගලෙන් බිමට
ගෙදර ගිහින්
කලා වැවට හඳ පෑව්ව
වාගේ ඒ මූණු පොඩ්ඩ
එක මොහොතක් බලල එන්න
මට හිතෙනව..
රන් කහවණු රිදී කාසි
ගම්වර සහ නොයෙක් තෑගි
නොලැබුණාට කම් නෑ දැන්
මග බලාන ඇති මගෙ පණ
යන්න දෙන්න රජතුමනි
යන්න දෙන්න දැන් මට....
No comments:
Post a Comment